ආර්ථික දේශීය පුවත්

චීනයේ Sinopec සමාගම හම්බන්තොට පිරිපහදුවට ආයෝජනය කිරීමට යයි

ලෝකයේ තෙල් හා ඛනිජ රසායනික නිෂ්පාදන අතින් විශාලතම සමාගමක් වන, ලෝකයේ තුන්වන විශාලතම රසායනික සමාගමක් වන, ලෝකයේ ඉන්ධන පිරහුම්හල් ගණන අතින් දෙවන විශාලතම සමාගමක් වන හා චීනයේ දෙවන විශාලතම පිරිපහදු සමාගමක් වන Sinopec සමාගම ලංකාවේ පිහිටි හම්බන්තොට පිරිපහදුව සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් මේ වන විට මෙරට තුල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය 2023 මාර්තු 12 වන දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඊයේ දින එනම්, 2023 මාර්තු 13 වන දින පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ Sinopec සමාගමේ නියෝජිතයින් සාකච්ඡාවකට සම්බන්ධ වූ බව ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය ඔවුන්ගේ නිල වෙබ් පිටුව තුල සඳහන් කර තිබුනා.

එහිදී Sinopec සමාගමේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා ඔවුන්ගේ සූදානමත් තහවුරු කල බවත්, Sinopec සමාගම අද වන විට මෙරට පවතින ක්‍රමය අනුගතව අයදුම් කරන බවත්, ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන ඇති මධ්‍යම බලශක්ති කේන්ද්‍රස්ථානය වන හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම සඳහා පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සූදානම්ව සිටින බව පැවසූ බවත් ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුනා.

 

සටහන: CK